Friday, February 24, 2017

සිල් ගත් බිල්ලො ඔබ නැරබියම යුතුම රංගයක් වන්නෙ ඇයි?






ඔන්න නාට්‍යකාරයා මේ පාරත් ඉඩ ලැබුනු හැටියෙ ගියා රාජ්‍ය නාට්‍ය උළෙල බලන්න. මට බලන්න හම්බුනේ නම් නාට්‍ය දෙකක් විතරයි ඒ අතරින් මගේ හදවත සසල කරපු කාලීන රංගයක් තමා විජිත් නුවන් ගෙ සිල්ගත් බිල්ලො.  මොකද කියනවනම් වත්මන් දේශපාලනයයේ මුහුනුවර හා වත්මන් තරුන පරපුරේ කේදවාචකය මනාව ගෙනහැර දක්වන්න සමත් වෙලා තියෙනවා විජිත් නුවන් මේ තුලින්. අපි පොඩ්ඩක් බලමු මොකක්ද මේ සිල්ගත් බිල්ලො කියන්නෙ කියලා.


විජිත් නුවන් කියන්නෙ නිකන්ම වේදිකාවට ආපු පුද්ගලයෙක් නෙවේ නාට්‍ය කලාව ගැන විශේෂයෙන්  හදාරපු පුද්ගලයෙක්. කැළනිය විශ්වවිද්‍යාලයෙන් නාට්‍ය හා රංග කලාව පිළිබද ශාස්ත්‍රවේදී විශේෂ උපාධියත් ඒ වගේම ශාෂ්ත්‍රපති උපාධියත් ලබා ගත් හෙතෙම දැන් රජයේ පාසලක ගුරුවරයෙක් ලෙස සේවයකරනවා. ඒ වගේම දිගු හා කෙටි නාට්‍ය ගනනාවකට රංගනයෙන් දායක වී ඇති හෙතෙම ඉතා දක්ෂ රංගාලෝක හා පසුතල නිර්මාන ශිල්පියෙක්. ඔහු "ජනේලයෙන් පනින්නද" නාට්‍ය වෙනුවෙන් 2011 රාජය නාට්‍ය උළලෙන් හොදම වේදිකා පරිපාලනයට හිමි සම්මානයද දිනාගනු ලැබුවා. කෙසේ වෙතත් " සිල් ගත් බිල්ලෝ" කියන්නෙ විජිත් නුවන්ගෙ කුලුදුල් දිගු නාට්‍ය රචනය හා අධ්‍යෂනය. මගේ රසඥතාව අනුව ඉතාම ප්‍රසස්ථ ගනයේ නිර්මානයක් තමා සිල්ගත් බිල්ලො කියන්නෙ.


වේදිකාව විවර වෙන්නෙ යුවතියකගේ රංගනයෙන්. යුවතියන් පස් දෙනෙක්  තරගයක් සදහා ඉදිරිපත් කිරීමට නැටුමක් පුහුනු වෙනවා. මුලින්ම මටනම් හිතුනෙ විශ්වවිද්‍යාලයක් වගේ තැනක් කියල. පස්සෙ තමා තෙරුම්ගියේ මේක ශොපින්ග් මෝල් එකක් කියලා. මේ යුවතියන් පස් දෙනා වටා තමා මේ කතාව එතැන් පටන් ගලාගෙන යන්නෙ.. මේ යුවතියන් පස්දෙනා හරහා මේ නිර්මාපකයා සියුම්ව මේ සමාජ දේශපාලනය , ආදරය මනාවට විවේචනය කරනවා. මට මුලින්ම හිතුනා මේ ජාතිවාදය අවුස්සන්න ගන්න උත්සහයක් ද කියලා එක යුවතියක් කරන ප්‍රකාශ මගින්. නමුත් රංගයේ අවසාන බාගයට ලගාවෙද්දී තමා තෙරෙන්නෙ විජිත් කොච්චර විචාරශීලීද කියලා. ජාතිවාදයේ සැබෑ මුහුනුවර විජිත් ඉතා සූක්ෂමව එලියට දානවා. ඒ වගේම අද වර්තමාන තරුණියො මුහුන දීලා තියෙන සමාජ ප්‍රශ්නය ඉතා මනාව පිලිබිගු කරනවා. මේ ගැහැණු ලමයි පස් දෙනා පස් ආකාරයක අත්දැකීම් ලබන අය. සමාජය පිලිබද වෙනස්ම අදහස් තමා මේ පස් දෙනා ලග තියෙන්නෙ. ඒ අතරිනුත් අනුරාධා විශේෂයි. එතොකොට චිත්‍රා කියන්නෙ මේ ශොපින්ග් මෝල් එකේ පිරිසිදු කරන්නියක් ඇය හරහා සියුම් උපහාසයක් අපට ලගා කරන ගමන්ම ගැබුරු පණිවිඩයක් ලබාදෙනවා නූතන සමාජය පිලිබදව. චිත්‍රාගෙ දරුවා ගමේ ශිෂ්‍යත්වය පාස්වෙලා කොළබ ඉස්කොලෙකට ගිහින් ඕලෙවල් ෆේල් වෙලා හමුදාවට ගිහින් ජීවිතය පූජා කරපු තරුණයෙක්. ඒ වගේම මේ ශොපින්ග් මෝල් එකේ අයිතිකාරයා මුස්ලිම් ජාතිකයෙක්. මෙතෙන්ට සිකුයුරිටි වැඩේට ආව පුද්ගලයා තමා දැන් මෙතන සීනියර් මැනේජර් ඒ තමා සංඛ. 

මෙතන ප්‍රබලම චරිතය තමා සංඛ පලිහවඩන. සංඛ කියන්නෙ ඇත්තටම සිල්රෙද්දක් පොරව ගත්තු යක්ෂයෙක්. බලය ලාබය හා තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ඔනේම අමන වැඩක් කරන්න ලෑස්ති නරුමයෙක්. ඇත්තටම ඔහු උපතින්ම අවජාතකයෙක්  වරෙක දෙමලෙක් වරෙක කතෝලිකයෙක් ඊට පස්සෙ වාසිය වෙනුවෙන් තමන්ගේ නම වෙනස් කරගත් ඉතා සිල්වත් බෞද්ධයෙක්. ඊට පස්සෙ වාසිය වෙනුවෙන් මුස්ලිම් ආගම වැලද ගැනීමට බලාපොරොත්තුවෙන් සිටි අයෙක්. මේ සියල්ල අතරේ තමන්ගේ ආදරය රැකගන්න උත්සහ කරන ප්‍රේමවන්තයෙක්. අන්තිමට තමන්ගෙ ආදරය විනාශ කරලා දාන මිනීමරුවෙක්. ඒත් ඔක්කොම කරලා අන්තිමට සමාජයක් ආදරය කරන ගරු කරන ප්‍රභූ චරිතයක්. ඉතින් මේ විජිත් මොනවට ඔප්පු කරලා පෙන්වන්නෙ නූතන සමාජයේ නිරුවත් යථාර්තය නොවේද? ඔබ මා ජීවත් වෙන සමාජයේ සංඛලා කී දෙනෙක් ඉන්නවද කල්පනා කරලා බලන්න. එතොකොට චිත්‍රලා , යශෝධලා,මදූලා ,නිර්මලාලා, අනුරාධලා මේ සමාජෙ පිරිලා. 

මට නම් මේ නාට්‍ය බලපු දවසේ මගේ හදවතට තදින්ම දැනුනා. කොච්චර දැනුනද කියනවනම් එදා දවසෙ මට නිදාගන්නත් අමාරු උනා මේ දේවල් ගැන කල්පනා වෙලා. පහුවදා මගෙ ෆේස්බුක් යලුවොනම් දකින්න ඇති වොල් එකේ. ඇත්තටම ඔබ අනිවාර්යයෙන් බැලිය යුතු වේදිකා නාට්‍යක්.  මේ ජාතිවාදී උමතුව ගැනත් බොහොම ලස්සනට කියවෙනවා, ඒ වගේම අද තරුනියන්ට අත්වෙලා තියෙන ඉරනම එතොකොට අපේ උන් ආදරය කියලා අදහස් කරන්නෙ මොකක්ද , නූතන දේශපාලනයේ නිරුවත වගේ ගොඩක් දේවල් ඉස්මතු කරන්න විජිත් සත් වෙලා තියෙනවා. බොහොම ස්තූතියි විජිත් නුවන් මැති තුමනි ඔබේ මේ ඉතා අගනා උත්සහයට. මට දැනුන හැටියට මෙය අතිවිශිෂ්ට නිර්මාණයක්. 

තියෙනවා කියලා ආරන්චි උනොත් කොහෙ තිබුනත් අනිවා ගිහින් බලන්න...

 පාත්‍ර වර්ගයා

සංඛ පලිහවඩන  - මලීන්ද්‍ර ජයවර්ධන
යශෝධා   -  නයෝමි තක්ෂිලා
මධූ - චන්දිමා කරුණාදාස
චේතනා - ප්‍රාර්ථනා සමාධි
නිර්මලා - චාමරී නිසංසලා
අනුරාධා  - ලක්ෂිකා සුමුදු විජේරත්න
චිත්‍රා - ජීවන්ති පෙරේරා
 

රචනය , අධ්‍යක්ෂණය , නිෂ්පාදනය  - ඩී.ජී. විජිත් නුවන්
රංගාලෝකය - ස්මන් මළලසේකර
රංගභූමි අලංකරනය - විජිත බණ්ඩාර
අංග රචනය - ලක්ෂික සංකල්ප ජයකොඩි
වේදිකා පරිපාලනය - අසංක සදරුවන් , සසිත් සේනානායක
රංග වස්ත්‍ර නිර්මානය - තක්ෂිලා මෙණ්ඩිස්
රංග වින්‍යාසය - නලින් ලූසේකා
සංගීත නිර්මාණය - තිලංක ගමගේ
ශබ්ද පරිපාලනය - තරිදු ගංගනාත්
පෙල මතක් කිරීම - සලූජා පීරීස්
වේදිකා පරිපාලන සහය - ප්‍රදීප් ලක්මාල් , ඩිලාන් අබේවර්ධන
ප්‍රචාරක සැලසුම්කරනය - තරිදු ගංගනාත්
චායාරූප - සජිත් මධුෂාන්  




2 comments:

  1. සුපිරි පෝස්ට් එකක්.

    මමත් නාට්‍ය පිස්සෙක්.

    කාලෙකට කලින් මගේ බ්ලොග් එකේ ලිව්වා පිස්සන්ට හැතැප්ම නෑ කියලා පෝස්ට් එකක් මගේ
    නාට්ටි රසවිඳපු ජීවිතේ ගැන. http://dukaa.blogspot.ae/2012/02/blog-post_19.html

    මේ නාට්‍ය බලන්න අවස්තාවක් ලැබුනා නම් කියලා හිතෙනවා.

    ඒ තරම් කුලප්පු කරන විදිහකට උඹ මේක ලියලා තියෙනවා.

    ලබන මාසේ නිවාඩු එනවා. ඒ කාලේට තියෙයිද?

    උඹව ෆේස්බුක් එකෙන් හොයා ගන්නේ කෝමෙයි?

    ReplyDelete
    Replies
    1. මාත් ලොකු නාට්‍ය පිස්සෙක් ඒ කාලෙ වැඩිපුර කාලෙ කාදැම්මේ නාට්‍ය පස්සෙ දුව දුව ... බොහොම ස්තුතියි මේ කොමෙන්ටුවට ... මේකනම් ආයේ කොහෙද තියෙන්නෙ කියලා ඔත්තුවක් හම්බුන්නෑ හැබැයි බලපු රහම නාට්‍යක්.. මාව හොයාගන්න https://www.facebook.com/Asanga.nilupul ඔන්න ඔතනින් පුලුවන්. මාව හොයාගෙන රික්වෙස්ට් එකක් දාන්න ... මම මේ ලින්ක් එකට ගිහින් බලන්නම්..

      Delete

ඔබගේ අදහස් මට මුතුකැට වගේ වටිනවා. පුලුවන්නම් පොඩි හරි දෙයක් කියලා යන්න.ආවට ගොඩක් ස්තුතියි.