Friday, October 4, 2019

ආර්යා ලාංකීය නවකතාවට අමුතු හැඩයක්ද?






දිලීප ජයකොඩි කතුවරයා අප හදුනා ගන්නේ පරිවර්තකයෙකු ලෙසයි. ඔහු ඉතාමත් ජනප්‍රිය වන්නෙ චේතන් බගත්ගේ පොත් පරිවර්තනය තුලිනි. චේතන් බගත් අප තරුණ තරුණියන් අතරට ගෙන ආවේ ඔහුයි. එම කෘති පරිවර්තනයේදී ඔහු මැනවින් දස්කම් පෑවේ කාගෙත් සිත් සතන් දිනා ගනිමිනි. නමුත් ඔබ නොදන්නවා වුවත් අප අතර ජනප්‍රිය වූ නිල්දිය යහන චිත්‍රපටය නිශ්පාදනය වන්නේ ද ඔහුගේ ස්වතන්ත්‍ර කෘතිය පාදක කරගෙනය.

මෙවර ඔහු අපගේ සිත් ඇදබැද ගන්නේ නවමු ආරක නවකතාවක් අප අතර තබමිනි. එනම් දේශපාලනය පදනම් කරගත් නවකතාවක් අප අතරට ගෙන එමින්ය. මේ පිලිබද මා දැනගත් විගස මා හට සිතුනේ  කියවීමට නීරස වන කතාවක් වනු ඇතැයි කියායි. නමුත් කියවන්න කියවන්න එම පොත මා සිත ඇද බැද ගති. එක හුස්මටම පොත කියවා ඉවර කිරීමට මට හැකි වුනේ ඒ නිසාය.

මෙය ඔබ කියවිය යුතුම පොතක් වන්නෙ දේශපාලනයේ සෑබෑ යථාර්ථය පිලිබිගු කරන නිසාය.දේශපාලනයේදී ඔබගේ ලගම හිතවතා තබා ඔබගේ ප්‍රිය බිරිදවත් විශ්වාස කල නොහැකි බව දිලීප ජයකොඩියන් විසින් මෙයින් මනාව පිලිබිගු කර ඇත්තේය. දේශපාලනයේ තිත්ත ඇත්ත එයයි.



කතාව ආරම්භයේදී කතාව දිව යන්නේ වෙනම දිශානතියන් දෙකකිනි. එනම්  කතා දෙකක් ලෙසටයි. කතාව මධ්‍යයේදී කතුවරයා විසින් එම දිශානතින් දෙක එකට එක්කාසු කරන්නේ ඉතාම සිත් ගන්නා අයුරිනුයි.  මෙම නවකතාවේ චරිත අපට සමාජයේ දැනට හුරුපුරුදු චරිත ලෙසින් අප හට හැගී යන්නේ නිතැතින්‍ ය.

කතාව ගෙතෙන්නේ ප්‍රධාන චරිත දෙකක් වටායි. එනම් උත්පලා හා වික්‍රම වටායි. උත්පලා යනු ගමේ හැදුනු වැඩුනු මවගේ ආදරය නොලැබුනු ඉතා ගුනවත් තරුණියකි.
ඇයට කලා විෂය ඉගෙන ගැනීමට අවශ්‍යය වුවත් මවගේ හා සහෝදරියන්ගේ වුවමනාව මත විද්‍යා විෂයයන් හදාරන්නට සිදු වෙයි. නමුත් ඇයගේ ඉලක්ක කරා ගමන් කිරීමට ඇය එය බාධාවක් කර නොගනී. ඇය සැබවින්ම තමාගේ ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන්ම කැපවුනු දිරිමත් තරුණියකි.ඇයගේ ප්‍රථම හා එකම ප්‍රේමය ඇයගේ වෘත්තියයි.

වික්‍රම යනු උපතින්ම දේශපාලන පවුලක උපන් කුඩා කලදීම තම පියා ඝාතනයට ලක්වුනු තරුණයකුයි. ඔහුත් ඔහුගේ ඉලක්ක වෙත ගමන් කරන්නෙ ඉතා කැපවීමෙන්  මයි. ඔහු දේශපාලනය උපතින්ම රැගෙන ආවත්  ඔහුගේ ඉලක්ක වෙත ගමන් කරන්නේ ඉතා කපටි නුවනක් ඇත්තෙකු ලෙසයි.

එමෙන්ම මෙම නවකතාව මගින් අපට ප්‍රත්‍යක්ෂ කරන ලොකුම කාරනය වන්නේ කාන්තාවන්  කිසිදා අවතක්සේරු කල නොහැකි බවමයි. එමන්ම දේශපාලනය උදෙසා මාධ්‍යයේ බලපෑම මැනවින් පසක් කරන්නෙ අපව පුදුමයට පත් කරමිනි. අප මෙම නව කතාව කියවාගෙන යන විට මෙය ප්‍රබන්ධයක් නොව සැබෑවක්ම බව අපට හිතෙන වාර අනන්ත බව ඔබටද හිතේවි.

මෙම කතාවේ තවත් විශේෂතවයක් වන්නේ අවසානයන් දෙකක්  තිබීමයි.එයුනුත් ඔබට පසක් වන්නේ දේශපාලනය යනු කිසිදා ඉවර නොවන සෙල්ලමක් බවම නොවේද? මෙම අවසානයන් දෙකක් නවමු අකාරයකින් හදුන්වා දීමට සමත් විමම නවකතාවට අලුත් හැඩයක් නොවේද? 

දේශපාලනයේ ජඩ බව හැඩය තේරුම් ගැනීමටනම් ඔබත් අදම මෙම පොත කියවිය යුතුම වේ . මා නිර්දේශ කරන්නෙ සියලු දෙනෙක්ම මේ නවකතාව අනිවාර්යයෙන්ම කියවිය යුතු බවයි. මන්ද එයින් ඔබට දේශපාලනයේ යථාර්තය පසක් වනු ඇත මටනම් ආර්යා ලාංකීය නවකතාවට අමුතු හැඩයක්මයි.






1 comment:

ඔබගේ අදහස් මට මුතුකැට වගේ වටිනවා. පුලුවන්නම් පොඩි හරි දෙයක් කියලා යන්න.ආවට ගොඩක් ස්තුතියි.